ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටුකළ අභාවප්‍රාප්ත ග්වෙන් හේරත් මහත්මියට උපහාර පිණිස මෙවර ‘Major Club Women’s’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ඇයගේ නමින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
1997 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය පිහිටුවීමේ පුරෝගාමී නායකත්වය ලබා දුන් ඇය එහි ආරම්භක සභාපතිනිය ලෙස ද කටයුතු කළාය. ඇය ඉටු කළ සුවිශේෂී කාර්යභාරය අගයමින් 2026 වසරේ සිට මෙම තරගාවලිය “ග්වෙන් හේරත් අනුස්මරණ කුසලානය” ලෙස නිල වශයෙන් නම් කර ඇත.
ග්වෙන් හේරත් මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පිරිනමනු ලබන කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගියදා නිල වශයෙන් භාර දෙන ලදී. එම අවස්ථාවට ඇයගේ දියණියන් වන ෂමරා සහ පර්වීන් හේරත් මහත්මීන් සහ පුත් අවන්කා හේරත් මහතා ද සහභාගී වූහ.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඇය දැමූ අඩිතාලම අනාගත පරම්පරාව වෙත ගෙනයෑම මෙම උපහාරයේ ප්‍රධාන අරමුණ බව බන්දුල දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මෙම උත්සවයට ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ අලෙවිකරණ ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.












