ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (26) දිනයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදෙස්ගත වූ බව වාර්තා වේ.
ආචාර්ය වීරසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, එතැන් සිට ඔහුගේ අවසන් ගමනාන්තය කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත. ඔහු තවත් දින කිහිපයක් මෙරටින් බැහැරව සිටීමට නියමිත බව වාර්තා වේ.
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන ඇතැම් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහ බැංකුවට ද වගකීමක් පවතින බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් මහ බැංකුව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳව ද දේශපාලන සහ මූල්‍ය ක්ෂේත්‍රවල විවේචන එල්ල වෙමින් පවතී.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ විදෙස් සංචාරය නිල රාජකාරී කටයුත්තක් ද නැතහොත් පෞද්ගලික සංචාරයක් ද යන්න පිළිබඳව මහ බැංකුවෙන් ඉදිරියේදී පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වේ.












