දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (27) රාත්‍රී 11:00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරු 4:00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. එසේම හෙට (අප්‍රේල් 28) පස්වරු 1:00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
අකුණු පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ. එමෙන්ම රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් බැහැර විය යුතු අතර, ලෝහමය උපකරණ හෝ මෝටර් රථ වැනි වාහනවලින් ඉවත් වී ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.













