ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින උග්‍ර වන අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා අදාළ බලධාරීන් වහාම සහ ඵලදායී පියවර ගත යුතු බව අභියාචනාධිකරණය අද (27) අවධාරණය කළේය.
නීතිවිරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය මහතා මෙම නියෝගය නිකුත් කළේය. අලින් යනු ජාතික සම්පතක් සහ පොදු දේපලක් බැවින් ඔවුන් ආරක්ෂා කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කල්පනී දිසානායක මහත්මිය අධිකරණයට දන්වා සිටියේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවේ නීතිවිරෝධී විදුලි වැටවල් සම්බන්ධ ගැටලුව නිසි ලෙස ආමන්ත්‍රණය කර නොමැති බවයි. විශේෂයෙන්ම විදුලි වැටවල් සඳහා භාවිත කළ හැකි උපරිම වෝල්ටීයතාවය පිළිබඳ මෙතෙක් පැහැදිලි නියාමනයක් නොමැති වීම විශාල ගැටලුවක් බව ඇය පෙන්වා දුන්නාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, මීළඟ නඩු වාරයේදී වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කළේය. අනවසර විදුලි වැටවල් නියාමනය කිරීමට සහ අලි-මිනිස් ගැටුම විසඳීමට ගෙන ඇති පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ඔවුන්ට උපදෙස් දෙන ලදී.
රෝහන්ත අබේසූරිය සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලූ අතර, වැඩිදුර විභාගය ජූනි 02 වනදාට නියම කෙරුණි. අලි ඇතුන් සුරැකීමේ සංගමයේ සභාපතිනී කේ. ප්‍රියදර්ශනී මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.













