චීනයේ නැගෙනහිර ජියැංසු පළාතේ වුක්සි (Wuxi) නගරයේ ෂැන්බෙයි (Shanbei) ප්‍රාදේශීය බලධාරීන් විසින් ජනතාවගේ සෞඛ්‍යය නංවාලීම සඳහා “මේදයට හරක් මස්” (Trade Fat for Beef) නමින් අපූරු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ
මෙම වැඩසටහන යටතේ නගරවාසීන් අඩු කර ගන්නා ශරීර බරට සාපේක්ෂව හරක් මස් ත්‍යාග වශයෙන් පිරිනැමේ. ඒ අනුව සිරුරේ බර කිලෝග්‍රෑම් 0.5ක් අඩු කරන සෑම පුද්ගලයෙකුටම අස්ථි රහිත හරක් මස් ග්‍රෑම් 500ක් හිමිවන අතර, කිලෝග්‍රෑම් 1ක් අඩු කළහොත් ගව වලිගය (oxtail) ග්‍රෑම් 500ක් ත්‍යාග ලෙස ලැබේ. උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 10ක බර අඩුවීමක් දක්වා මෙලෙස විවිධ ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව තරගකරුවන්ට හිමිවේ.
චීන වැඩිහිටි ජනගහනයෙන් අඩකට වඩා තරබාරුකමෙන් පෙළෙන බැවින්, 2030 වන විට එම තත්ත්වය 70% දක්වා ඉහළ යා හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත. එම සෞඛ්‍ය අර්බුදයට පිළියමක් ලෙස ජාතික සෞඛ්‍ය කොමිසම හඳුන්වා දුන් තුන් අවුරුදු බර කළමනාකරණ සැලැස්මට සහාය වීම මෙම වැඩසටහනේ අරමුණයි. කෙසේ වෙතත්, බර අඩු කිරීමේ ඖෂධ භාවිතය, උපවාස කිරීම හෝ වෙනත් අන්තවාදී ක්‍රම මගින් බර අඩු කර ගැනීම සපුරා තහනම් වන අතර, නිසි ආහාර පාලනය සහ ව්‍යායාම මගින් පමණක් බර අඩු කළ යුතුය.
මෙම වැඩසටහන ප්‍රචාරය වී දින තුනක් ඇතුළත 2,400කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, මෙම වරප්‍රසාදය හිමිවන්නේ ෂැන්බෙයි කලාපයේ සෞඛ්‍ය රක්‍ෂණ සහිතව ලියාපදිංචි වී ඇති සේවකයින්ට පමණි. දිය කර හරින මේදය වෙනුවට යළිත් මස් ලබා දීම හාස්‍යයට කරුණක් සේ පෙනුණ ද, ජාතික සෞඛ්‍ය ගැටලුවකට එරෙහිව ජනතාව උද්යෝගයෙන් පෙළගැස්වීමට මෙය සාර්ථක සංකල්පයක් වී තිබේ.













