විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහා පත්කළ විශේෂ කමිටු වාර්තාව අද (27) විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන විදෙස්ගත ලාංකිකයින්ට රටේ පාලනය තීරණය කිරීමට අවස්ථාව ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එල්.ඒ.පී.කේ. කුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව විසින් විදෙස්ගත පුද්ගලයින් ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ හඳුනාගෙන ඇත. ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් යන කාණ්ඩ මෙයට ඇතුළත් වේ. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අංශ 4ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එනම්, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම, මැතිවරණ ප්‍රචාරණ කටයුතු, ඡන්දය ප්‍රකාශ කිරීම සහ ඡන්දය ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමයි.
මීට අමතරව, මෙරට අත්‍යවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන්, රේගු නිලධාරීන් වැනි නිලධාරීන්ට මෙන්ම ධීවරයින්, සිරකරුවන් සහ රෝගාතුරව සිටින පුද්ගලයින් සඳහා ද පූර්ව ඡන්දය හෝ ජංගම ඡන්ද ක්‍රම හඳුන්වා දීම පිළිබඳව මෙම වාර්තාව මගින් අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ මෙම ඓතිහාසික පියවර ඉදිරියේදී මෙරට මැතිවරණ ක්‍රමයේ ප්‍රධාන සංශෝධනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.











