මහ භාණ්ඩාගාරය විදේශ ණය වාරිකයක් ලෙස ගෙවීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට රජය එකඟතාව පළ නොකළ බව සමගි ජන බලවේගය පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන මැයි 5 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳව සාකච්ඡා වී තිබේ. එහිදී විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ මෙම මූල්‍ය අලාභය පිළිබඳව සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, රජය එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
රටේ මහජන මුදල් මෙලෙස අවභාවිත වීම හෝ අස්ථානගත වීම බරපතළ කරුණක් බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට රජය දක්වන මැලිකම ගැටලුසහගත බවත් විපක්ෂය මෙහිදී අවධාරණය කර සිටී.











