මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන රජයේ රෝහල් දෙකෙහිම සිදු කෙරෙන PET Scan පරීක්ෂණ මාර්තු 27 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කරයි. මෙම පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන FDG (Fluoro deoxy glucose) නැමැති විකිරණශීලී රසායනික ද්‍රව්‍යය මෙරටට ගෙන්වීමට නොහැකි වීම මෙයට හේතුව වී තිබේ.
මෙම අර්බුදයට මූලික වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ අදාළ රසායනිකය සපයන ඉන්දීය සමාගම අතර පවතින ලියාපදිංචි කිරීමේ ගැටලුවකි. අදාළ සමාගමේ ලියාපදිංචි කාණ්ඩය වෙනස් කර නැවත ලියාපදිංචි වන ලෙස අධිකාරිය දැනුම් දී ඇති අතර, සමාගම ඒ සඳහා ඉල්ලුම් කර ඇතත් මෙතෙක් එම අනුමැතිය ලැබී නොමැත. මේ හේතුවෙන් රජයේ රෝහල්වල පමණක් නොව, පෞද්ගලික අංශයේ රෝහල්වලට පවා මෙම පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වී ඇත.
දැනටමත් රජයේ රෝහල්වල මෙම පරීක්ෂණය සඳහා මාස 4කට අධික පොරොත්තු ලේඛනයක් පවතින අතර, පෞද්ගලික රෝහලකින් පරීක්ෂණයක් කර ගැනීමට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වැය වේ. පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශය ද අකර්මන්‍ය වී ඇති බැවින්, පිළිකා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව පෙන්වා දෙන විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, මේ සඳහා වහාම මැදිහත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.











