මෙක්සිකෝවේ ප්‍රබලතම සහ දරුණුතම මත්ද්‍රව්‍ය ජාලයක් වන “ජැලිස්කෝ නිව් ජෙනරේෂන්” (CJNG) කල්ලියේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු වන ඕඩියස් ෆ්ලෝරස් හෙවත් “එල් ජාඩිනෙරෝ” (El Jardinero) මෙක්සිකානු විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙක්සිකෝවේ නයරිට් ප්‍රාන්තයේදී සිදුකළ මෙම මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා, ගුවන් යානා සහ 500කට අධික සෙබළුන් පිරිසක් සහභාගී වී ඇත.
පසුගිය පෙබරවාරි මාසයේදී මියගිය එම කල්ලියේ නායක “එල් මෙන්චෝ” ගෙන් පසු එම මත්ද්‍රව්‍ය ජාලයේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා ලෙස සැලකුණේ ෆ්ලෝරස් ය. ඇමරිකානු බලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගැනීමට උදව් වන තොරතුරු සඳහා ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි. මෙක්සිකානු නාවික හමුදාව පවසන්නේ මාස 19ක දැඩි නිරීක්ෂණයකින් පසු සහ ඇමරිකානු ඔත්තු සේවා ලබාදුන් තොරතුරු මත මෙම මෙහෙයුම ඉතා සාර්ථකව සිදුකළ බවයි.
ෆ්ලෝරස් ආරක්ෂා කිරීම සඳහා තුවක්කුකරුවන් 60කට අධික පිරිසක් සිටියද, ඔහු කානුවක සැඟවී සිටියදී කිසිදු වෙඩි හුවමාරුවකින් තොරව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකානු රජයට එල්ල කළ දැඩි පීඩනය හමුවේ මෙවැනි මෙහෙයුම් වේගවත් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීම එම මත්ද්‍රව්‍ය කල්ලියේ මෙහෙයුම්වලට එල් මෙන්චෝගේ මරණයටත් වඩා දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.















