වසර ගණනාවක දේශපාලන අස්ථාවරත්වයකින් පසු ඉරාකයේ නව අගමැති ධුරය සඳහා එරට ප්‍රබලතම දේශපාලන කණ්ඩායම වන ෂියා සම්බන්ධීකරණ රාමුව (Coordination Framework) විසින් අලි අල් සයිදි (Ali al-Zaidi) නම් කර තිබේ. ඉරාක ජනාධිපති නිසාර් අමෙදි විසින් ඊයේ (27) සවස් කාලයේදී නව රජයක් පිහිටුවන ලෙස අල් සයිදි වෙත නිල වශයෙන් ආරාධනා කරන ලදී.
අලි අල් සයිදි 40 වැනි වියේ පසුවන ඉරාකයේ සිටින අතිශය ධනවත් කෝටිපති ව්‍යාපාරිකයෙකි. බැංකු ක්ෂේත්‍රය ඇතුළු අංශ රැසක ව්‍යාපාරික අවශ්‍යතා පවතින ඔහු, ඉරාකයේ මිලියන සංඛ්‍යාත ජනතාවකට ආහාර සපයන රජයේ ප්‍රධාන ආහාර බෙදාහැරීමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛයෙකු ද වේ. ඉරානයේ සහය ලබන දේශපාලන කණ්ඩායම්වල එකතුවක් වන ෂියා සම්බන්ධීකරණ රාමුව විසින් ඔහු නම් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිත කණ්ඩායම ලෙසයි.
ඉරාක ව්‍යවස්ථාවට අනුව නව අගමැතිවරයාට සිය අමාත්‍ය මණ්ඩලය සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා දින 30ක කාලයක් හිමි වේ. ඉරාකයේ පවතින බලය බෙදාගැනීමේ ක්‍රමවේදයට අනුව ජනාධිපති ධුරය කුර්දි ජාතිකයෙකුටත්, අගමැති ධුරය ෂියා මුස්ලිම්වරයෙකුටත්, පාර්ලිමේන්තු කථානායක ධුරය සුන්නි මුස්ලිම්වරයෙකුටත් හිමි විය යුතුය. මෙම පත්වීම කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඉරාකයේ ස්ථාවරත්වයට තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.














