කැනඩා රජය සහ එරට ප්‍රධානතම තෙල් නිෂ්පාදන කලාපය වන ඇල්බර්ටා ප්‍රාන්තය අතර කාබන් බදු මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන නව ගිවිසුමක් ඉදිරි සති දෙක ඇතුළත අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙමඟින් කාබන් විමෝචනය කරන මහා පරිමාණ කර්මාන්ත සඳහා පනවා ඇති බදු මුදල මෙට්‍රික් ටොන් එකකට කැනඩා ඩොලර් 130ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. ඇමරිකානු ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති වෙළඳ බදු හමුවේ කැනඩා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස මෙය සැලකේ.
කෙසේ වෙතත්, පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 16.5ක දැවැන්ත ‘Pathways’ කාබන් ග්‍රහණය කිරීමේ ව්‍යාපෘතිය සහ නව තෙල් නල පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව තවමත් අවසන් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයට නොහැකි වී තිබේ. අග්‍රාමාත්‍ය කාර්නි අවධාරණය කරන්නේ නව තෙල් නල පද්ධතියක් සඳහා අවසර ලබා දිය හැක්කේ කාබන් විමෝචනය පාලනය කිරීමේ ව්‍යාපෘති සඳහා තෙල් සමාගම් සක්‍රීයව දායක වන්නේ නම් පමණක් බවයි. ආර්ථික වර්ධනය සහ දේශගුණික විපර්යාස පාලනය කිරීම යන ද්විත්ව අරමුණු ජය ගැනීම සඳහා මෙම සියලු සාකච්ඡා සාර්ථක කර ගැනීම කැනඩාවට අතිශය තීරණාත්මක වී ඇත.














