දුර්ලභ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග (Autoimmune diseases) සඳහා භාවිතා කරන ඇම්ජන් (Amgen) සමාගමේ ‘Tavneos’ ඖෂධය වෙළඳපොළෙන් ඉවත් කිරීමට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය (FDA) යෝජනා කර තිබේ. මෙම ඖෂධයේ පවතින අකාර්යක්ෂමතාවය සහ එහි මුල් අයදුම්පතේ අඩංගු අසත්‍ය කරුණු මීට හේතුවී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම මෙම ඖෂධය භාවිත කිරීම නිසා රෝගීන් 76 දෙනෙකුට අක්මාව ආශ්‍රිත බරපතල හානි සිදුවී ඇති බවත් එයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් හෙළිවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
2021 වසරේදී අනුමැතිය ලැබූ මෙම ඖෂධය සම්බන්ධයෙන් වසර තුනකට පසුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ සමාගම විසින් ඇතැම් තොරතුරු වසන් කර ඇති බවට එල්ල වන චෝදනා මතයි. කෙසේ වෙතත් ඇම්ජන් සමාගම පවසන්නේ සිය ඖෂධය ආරක්ෂිත සහ කාර්යක්ෂම බව තමන් තවදුරටත් විශ්වාස කරන බවයි. FDA ආයතනය වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත්තේ අවසන් තීරණයක් ගන්නා තෙක් මෙම ඖෂධය භාවිත කිරීමට පෙර එහි ඇති අවදානම සහ විකල්ප ප්‍රතිකාර පිළිබඳව රෝගීන් සමඟ සාකච්ඡා කරන ලෙසයි.














