මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල්වල සිදුකරනු ලබන PET Scan (පෙට් ස්කෑන්) පරීක්ෂණ පසුගිය මාර්තු 27 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන FDG නැමැති විකිරණශීලී රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට නොහැකි වීම මෙයට හේතුව වී තිබේ. ඉන්දියාවෙන් මෙම රසායනිකය මෙරටට ගෙන්වන සැපයුම්කරුගේ ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම බාධාව මතු වී ඇති අතර, රසායනික ද්‍රව්‍ය කාණ්ඩය වෙනුවට ඖෂධ කාණ්ඩය යටතේ ලියාපදිංචි වන ලෙස කළ දැනුම්දීම අනුව අදාළ සමාගම ඉල්ලුම් කර ඇතත් මෙතෙක් එම අවසරය ලැබී නොමැති බව වාර්තා වේ.
මෙම ලියාපදිංචිය පිළිබඳ ගැටලුව නිසා කිසිදු සමාගමකට අදාළ රසායනිකය ගෙන්වීමට නොහැකි වී ඇති බැවින්, රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වැය කර පෞද්ගලික රෝහල් මගින් හෝ මෙම පරීක්ෂණය සිදු කර ගැනීමට රෝගීන්ට නොහැකි වී තිබේ. දැනටමත් රජයේ රෝහල්වල මෙම පරීක්ෂණය සඳහා මාස 4කට අධික පොරොත්තු ලේඛනයක් පවතින අතර, පරීක්ෂණ ඇණහිටීම නිසා පිළිකා සෛල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාරවල සාර්ථකත්වය තහවුරු කර ගැනීමට නොහැකිව රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත. පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය වන මෙම පරීක්ෂණය යළි ආරම්භ කිරීමට නම් අදාළ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට පවතින බාධා ඉවත් කර දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කඩිනමින් ඉල්ලා සිටියි.














