කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ පසුගිය මාර්තු 27 වනදා සිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. මීට මූලික හේතුව වී ඇත්තේ මෙම පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන ෆ්ලෝරෝඩියොක්සිග්ලූකෝස් (FDG) නමැති විකිරණශීලී ද්‍රව්‍යය ආනයනය කරන සමාගමට පවතින ලියාපදිංචි ගැටලුවකි. මෙතෙක් කල් ඉන්දියාවෙන් මෙම ද්‍රව්‍යය ආනයනය කළ සැපයුම්කරුට, එය ‘ඖෂධ’ (Pharmaceutical) කාණ්ඩය යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) තුළ යළි ලියාපදිංචි කරන ලෙස බලධාරීන් දැනුම් දී ඇති අතර එම ක්‍රියාවලිය ප්‍රමාද වීම නිසා ආනයන කටයුතු නතර වී ඇත. රජයේ රෝහල්වල මෙම පරීක්ෂණ නතර වීම හේතුවෙන් පිළිකා රෝගීන් මාස හතරකට වැඩි පොරොත්තු ලේඛනවලට ඇතුළත් වීමට සිදුව ඇති අතර පෞද්ගලික අංශයේ ද මෙම ද්‍රව්‍යයේ හිඟයක් පවතින බව වාර්තා වේ. පෞද්ගලික අංශයෙන් පෙට් ස්කෑන් පරීක්ෂණයක් කරගැනීම සඳහා රුපියල් 300,000කට වැඩි මුදලක් වැය වන බැවින් රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. ශ්‍රී ලංකාව තුළ FDG නිෂ්පාදනය කිරීමේ පළමු මධ්‍යස්ථානය පසුගිය පෙබරවාරි මාසයේදී කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී විවෘත කළ ද, එහි නිෂ්පාදන කටයුතු තවමත් රෝහල් පද්ධතියේ පවතින අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් පරිදි සක්‍රීය වී නොමැත. මෙම තත්ත්වය පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සැලසුම් කිරීමේ කටයුතුවලට දැඩි බාධාවක් එල්ල කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි















