ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආසියානු සංවර්ධන බැංකුව එක්ව 2026–2030 කාලසීමාව සඳහා සකස් කරන ලද ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිටිති. අප්‍රේල් 27 සිට 30 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරයේ අරමුණ වන්නේ වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති මත පදනම් වූ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තාක්ෂණික සහ මූල්‍ය සහයෝගීතාවයන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමයි.
අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීම සහ එය නිල වශයෙන් දියත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමු විය. සැලැස්ම සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා ඉහළ මට්ටමේ මෙහෙයුම් කමිටුවක් සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම මෙන්ම, ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විධිමත් වාර්තාකරණ පද්ධතියක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී එකඟතාවයකට පැමිණ තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ද දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමටත්, අපනයන වෙළඳපොළ තවදුරටත් විවිධාංගීකරණය කිරීමටත් අපේක්ෂා කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ මෙම මැදිහත්වීම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා තීරණාත්මක පියවරක් වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.














