ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නව එකඟතා රැසකට එළඹ තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා චීනයේ සිචුවාන් (Sichuan) සංචාරක විද්‍යාලයේ කළ නිල සංචාරයකදී මෙම තීරණ ගෙන ඇති අතර ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ සිදු වූ මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව තුළ චීන සිචුවාන් සූපශාස්ත්‍ර ඇකඩමියක් පිහිටුවීම සහ කඳුකර සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇති කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එසේම චීන-ශ්‍රී ලංකා සංස්කෘතික සංචාරක සහයෝගීතා වේදිකාවක් දියත් කිරීම, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා නවෝත්පාදන සේවා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ “Study at Sichuan Tourism College” වැඩසටහන යටතේ වැඩිම ශ්‍රී ලාංකික සිසුන් පිරිසකට චීනයේ අධ්‍යාපන අවස්ථා ලබා දීමට ද මෙහිදී එකඟතාව පළ විය. මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව සහ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමටත්, චීන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමටත් අපේක්ෂිතය.














