ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් සේවය (US Post) වෙත ගෙවන ලද ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් අදාළ ආයතනය වෙත නොලැබීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය. අද දින (2026.04.28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහා භාණ්ඩාගාරයේ මූල්‍ය දත්ත සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ ද මෙවැනි විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් වාර්තා වී ඇති බවයි.
අමාත්‍යවරයාට අනුව, US Post ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් 625,000ක මුදලක් තමන් වෙත නොලැබුණු බවට එම ආයතනය විසින් දැනුම් දී තිබේ. මෙම ගෙවීම් අවස්ථා දෙකකදී සිදු කර ඇති බවත්, එම මුදල් නිසි ලෙස බැර නොවී අතුරුදන් වූ ආකාරය පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පුළුල් විමර්ශනයක් දැනටමත් දියත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෑත කාලීනව විවිධ රජයේ ආයතනවල සිදුවන මූල්‍ය දෝෂයන් සහ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, මුදල් අමාත්‍යාංශය ද මෙවැනි සිදුවීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වන අභ්‍යන්තර පරීක්ෂණවලට පෙර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි සිදුවීම් හරහා සිදුවන මූල්‍ය අවභාවිතයන් පාලනය කිරීමට රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.
















