කොළඹ 10, මරදාන පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සතු ඉඩමක් වසර 50ක බදු පදනම මත සංවර්ධනය කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද දින (2026.04.28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සතු භාවිතයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවක නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. අක්කර 1ක්, රූඩ් 1ක් සහ පර්චස් 12.4ක වපසරියකින් යුත් මෙම භූමිය, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නව නිපැයුම් පාදක කරගත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (Mixed-use project) ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.
නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වය ඇතිව මෙරට වෙළඳපොළ ඉලක්ක කරගත් බුද්ධිමය තාක්ෂණික නවෝත්පාදන සහ සේවා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස මෙය ස්ථාපිත කෙරෙනු ඇත. මේ සඳහා සුදුසු දේශීය හෝ විදේශීය ආයෝජකයින් හඳුනා ගැනීම සඳහා ඉදිරියේදී විධිමත් ලෙස යෝජනා කැඳවීමට නියමිතය.












