මෙක්සිකෝවේ ප්‍රබලතම සහ භයානකම අපරාධ කල්ලියක් ලෙස සැලකෙන ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) කල්ලියේ ඉහළම පෙළේ නායකයෙකු වන ඕඩියස් ෆ්ලෝරස් සිල්වා (Audias Flores Silva) හෙවත් “ද ගාර්ඩ්නර්” (The Gardener) අත්අඩංගුවට ගැනීමට මෙක්සිකානු හමුදාව සමත්ව තිබේ. මෙය මෑත කාලීනව එම මත්ද්‍රව්‍ය කල්ලියට එල්ල වූ දැවැන්තම ප්‍රහාරයක් ලෙස සැලකේ.
“ද ගාර්ඩ්නර්” නමින් ප්‍රසිද්ධ මෙම අපරාධකරු මෙක්සිකෝවේ නයරිට් (Nayarit) ප්‍රාන්තයේ මාර්ගයක් අසල කාණුවක සැඟවී සිටියදී හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කිසිදු වෙඩි හුවමාරුවක් හෝ ජීවිත හානියක් සිදු නොවූ බව රජය තහවුරු කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී මෙම කල්ලියේ ප්‍රධාන නායකයා වූ “එල් මෙන්චෝ” (El Mencho) මිය යාමෙන් පසු කල්ලියේ මීළඟ නායකත්වය සඳහා සිටි ප්‍රධානතම පුද්ගලයා මොහු බව විශ්වාස කෙරේ.
මොහු අත්අඩංගුවට ගැනීමට උපකාරී වන තොරතුරු ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනමන බව ඇමරිකා එක්සත් ජනපදය මීට පෙර නිවේදනය කර තිබුණි.
“කෝමන්ඩන්ට්” සහ “මාටා ජෙෆෙස්” වැනි අනුවර්ථ නාමවලින්ද හැඳින්වෙන මොහු කොටු කර ගැනීම මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස විදේශ මාධ්‍ය වාර්තා කරයි.














