චීනයේ සැන්යා හි පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දුන් මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය අප්‍රේල් 27 වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් මෙරට වෙරළ මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නට මෙම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
මෙහිදී ඉෂාරා සමන්මලී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.87ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනාගත් අතර, එය ආසියානු වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් දිනාගත් ප්‍රථම රිදී පදක්කම ලෙස සනිටුහන් විය. එම ඉසව්වෙන්ම ශෂිකලා ලංකාතිලක ලෝකඩ පදක්කම දිනාගත් අතර, පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ජයත්‍ර සම්පත් මිරැන්ඩා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මීට අමතරව මනුජ ප්‍රභාෂ්, මලිත් තමෙල්, මලිත් තරුෂාන් සහ සඳුන් දියලවත්ත යන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් පිරිමි 4x60m සහය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙරටට ගෞරවයක් ගෙන දුන්හ.
ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ජනරාල් රිෆ්ඩි ෆාමි මහතා සහ මලල ක්‍රීඩා කොමිසමේ සභාපති ඔලිම්පියන් නිලුක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. සීමිත පහසුකම් මධ්‍යයේ ජාත්‍යන්තර තලයේ ලක් ධජය ලෙළදවන්නට සමත් වූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකා වෙරළ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පිම්මක් ලෙස ක්‍රීඩා විචාරකයෝ හඳුන්වති.














