නාගරික සංවර්ධන අධිකාරිය සතු මරදාන පාරේ පිහිටි වටිනා ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 10, මරදාන පාරේ පිහිටි අක්කර 01 රූඩ් 01 පර්චස් 12.4ක ඉඩම් කොටසක් මේ සඳහා තෝරාගෙන තිබේ.
ශ්‍රී ලාංකීය තාක්ෂණ විද්‍යාඥයන් හට දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් බුද්ධිමය තාක්ෂණික නිමැවුම් සහ සේවා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස මෙම ඉඩම සංවර්ධනය කිරීමට නියමිතය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු මෙතෙක් සංවර්ධනය කර නොමැති ඉඩම් වඩාත් සුදුසු කටයුතු සඳහා යොදා ගැනීමට පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මෙම ව්‍යාපෘතිය මගින් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ නව නිපැයුම්කරුවන්ට සිය නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














