දඹුල්ල මූලික රෝහල සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මධ්‍යම පළාත් සභාව යටතේ පැවති මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම හරහා එහි යටිතල පහසුකම් පුළුල් කිරීමට අපේක්ෂිතය.
‘ඒ’ ශ්‍රේණියේ රෝහලක් වන දඹුල්ල මූලික රෝහල මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනතාවකට සේවය සපයයි. දැනට මෙහි ඇඳන් ධාරිතාව 354කි.
2022-2032 දඹුල්ල සංවර්ධන මහා සැලැස්මට අනුව, දැනට රෝහල පිහිටි ඉඩම ආර්ථික සංවර්ධන අරමුණු සඳහා යොදා ගැනීමට නියමිතය. ඒ අනුව රෝහල වෙනත් ස්ථානයක අක්කර 05ක භූමියක අලුතින් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.
රෝහල නැවත ස්ථානගත කිරීම සඳහා රුපියල් බිලියන 7ක පමණ පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. එම පිරිවැය දැරීමට මධ්‍යම පළාත් සභාවට අපහසු බැවින් රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා එකඟතාව ලබා දී ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ දඹුල්ල රෝහල නවීන පහසුකම් සහිතව ඉහළ ප්‍රමිතියකින් සංවර්ධනය කිරීමට මාවත විවර වේ.














