මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (MRIA) මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව තහවුරු කරමින් නව වනජීවී ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම අතර මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබුණු අතර, එමඟින් ගුවන් සේවා ආරක්ෂාව ඉහළ නැංවීම මෙන්ම මෙරට ආයෝජන ආකර්ෂණය වැඩිකිරීම ද අපේක්ෂා කෙරේ.
වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා සඳහන් කළේ, ගුවන් යානා කුරුල්ලන්ගේ ගැටීම (Bird Strikes) වැනි වනජීවී අවදානම් අවම කිරීම හරහා මෙහෙයුම් පිරිවැය අඩු කිරීමටත්, ගුවන් සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් මෙමඟින් හැකි වන බවයි. යාල, උඩවලව වැනි ජාතික උද්‍යාන සහ තල්මසුන් නැරඹීම වැනි පරිසර සංචාරක කලාපයන්ට මත්තල ගුවන්තොටුපොළ සමීපව පිහිටීම නිසා, ඉදිරියේදී ඉහළ වටිනාකමකින් යුත් “පරිසර සංචාරක ද්වාරයක්” (Eco-tourism Gateway) ලෙස මෙම ගුවන්තොටුපොළ සංවර්ධනය කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














