රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කරනු ලබන සේවකයන් 9,800ක් ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (28) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, 2026 අයවැය යෝජනා අංක 33.11 මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගත් බවයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ.එච්.එන්.එච්. අබයරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට මෙහිදී අනුමැතිය හිමි විය. මෙම සේවක පිරිස අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඩෙංගු මර්දන සහායකයන් 1,300ක් පමණ ඇතුළත් වන අතර, අවශ්‍ය සුදුසුකම් සහිත පිරිස් මෙන්ම NVQ පාඨමාලා සම්පූර්ණ කරන පිරිස් ද මෙලෙස ස්ථිර සේවයට අනුයුක්ත කිරීමට නියමිතය.















