දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් සිය උප්පැන්න, විවාහ, මරණ සහතික සහ ජාතික හැඳුනුම්පත් අහිමි වූ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ එක්දින ජංගම සේවයක් ඊයේ (28) අවිස්සාවේල්ල තල්දූව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. ගංවතුරින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සිය නිල ලේඛන සකස් කර ගැනීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණ විය.
දෙහිඕවිට වැඩ බලන ප්‍රාදේශීය ලේකම් මධුෂානි ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන, කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා සම මණ්ඩලය විසින් මෙයට අනුග්‍රහය දැක්වූ අතර, ඉහළ තල්දූව සහ නාපාවල ඇතුළු ග්‍රාම නිලධාරී වසම් රැසක ජනතාව මෙමඟින් සේවාවන් ලබා ගත්හ.














