රටේ සමස්ත මහජනතාවගේ බදු මුදල් සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් එවූ ආධාර සුරක්ෂිතව තැබිය යුතු මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වලින් සිදුව ඇති අතිවිශාල මූල්‍ය අවභාවිතය පිටුපස කිසිදු “හැකර්වරයෙකු” නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද දින තංගල්ලේදී දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. මෙය සූක්ෂ්ම ලෙස තාක්ෂණය භාවිත කරමින් සිදුකළ මංකොල්ලයක් නොව, ආණ්ඩුවේ ඉහළම පුටුවල අනුදැනුම මත සිදුවූ සංවිධානාත්මක මහා පරිමාණ වංචාවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, තමන්ගේ හොරකම් වසා ගැනීමට අන් අයට “හොරා” යැයි පවසන “පික්පොකට් න්‍යාය” වත්මන් පාලනය අනුගමනය කරන බවට දැඩිව චෝදනා කළේය. හැකර්වරයෙකු දුරකථනයෙන් අමතා “අත්සන් කරලා එවන්න” යැයි පවසා ගිණුම් හැක් කරන ලෝකයේ එකම රට මෙය බව පවසමින් ඔහු ආණ්ඩුවේ මෙම ප්‍රකාශ උපහාසයට ලක් කළේය.
මෙම අර්බුදය හුදෙක් මුදල් අමාත්‍යාංශයට පමණක් සීමා නොවූවක් බවත්, වරායෙන් කන්ටේනර් 323ක් අතුරුදන් වීම, ලෝකයේ වැඩිම මිලකට බාල ගල් අඟුරු සහ තෙල් නැව් ගෙන්වා මහා පරිමාණ කොමිස් ලබා ගැනීම වැනි ක්‍රියාවන් හරහා වර්තමාන පාලනය ඉතිහාසගත වී ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හරහා කොන්ත්‍රාත් සමාගම්වලට දෙපාරක් ගෙවීම් සිදු කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුවෙද්දී, ජනාධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා මේ පිළිබඳව වගකීම භාරගත යුතු බව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම මාස අටක් තිස්සේ හැකර්වරයා සැඟවී සිටින බව පවසමින් පරීක්ෂණ ප්‍රමාද කිරීම හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ හොරුන් ආරක්ෂා කිරීමට දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින ඉහළම පොලිස් නිලධාරීන් පවා සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සෘජු ගනුදෙනු පවත්වන බවට තොරතුරු හෙළි වී ඇති බවත්, මාලිමාවේ ඇතැම් නිලධාරීන්ට විදේශගත වීම පවා තහනම් වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී හෙළිදරව් කළේය. තම හිතවතුන්ට අසීමිත ලාභයක් උපයා දීම සඳහා සහල් පිටරටින් ගෙන්වමින් සහ ජාතික සම්පත් අවභාවිත කරමින් සිදුකරන මෙම මංකොල්ලය හමුවේ ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. අවසානයේ සියලු හොරුන් සිටින්නේ ආණ්ඩුව ඇතුළේම බවත්, මුදල් අමාත්‍යවරයාගේ අත්සන නොමැතිව මෙවැනි ගෙවීම් සිදුවිය නොහැකි බවත් පවසමින් ඔහු සිය ප්‍රකාශය අවසන් කළේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය රට හමුවේ නිරාවරණය කරමිනි.












