මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ වැඩ අංගනය තුළ හියුම් පයිප්ප ගොඩබාමින් සිටි බූම් ට්‍රක් රථයක් වෝල්ට් 33,000ක අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් අද (29) දහවල් දරුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරෙන් ට්‍රක් රථයේ ක්‍රියාකරු සහ ප්‍රාදේශීය සභා සේවකයෙකු විදුලි සැර වැදීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අඹතලේ ප්‍රදේශයෙන් රැගෙන ආ පයිප්ප තොගයක් බූම් රථය ආධාරයෙන් බාමින් සිටියදී රථයේ ඉහළ කොටස විදුලි රැහැනේ ගැටී ඇති අතර, එම අවස්ථාවේ ඇතිවූ අධික විදුලි පීඩනය හේතුවෙන් රථයේ ටයර් පවා පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි. විදුලි සැර වැදීමෙන් තුවාල ලැබූ සේවකයා එම අවස්ථාවේ රථය අසල රැඳී සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මිල්ලනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














