හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බඩල්ගල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ සිදුවූ දරුණු බස් රථ අනතුරකින් හැටන් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මගීන් 40ක පමණ පිරිසක් රැගත් බස් රථයක් තවත් බස් රථයකට ඉඩදීමට යාමේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ රියදුරු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසයි. තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 17ක්, කාන්තාවන් 14ක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින අතර බරපතළ තත්ත්වයේ පසුවන එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත යොමු කර තිබේ. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.














