නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ අපවහන පද්ධතිය අවහිර වී අපජලය මාර්ගය දිගේ ගලා යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් මුහුණ දුන් බරපතළ සෞඛ්‍ය ගැටලුව නිරාකරණය කිරීමට රෝහල් පාලන අධිකාරිය මේ වන විට කටයුතු කර ඇත. වසර ගණනාවක සිට අක්‍රිය වී පවතින මෙම පද්ධතිය පූර්ණ වශයෙන් නඩත්තු කිරීම සඳහා ජාතික ජලාපවහන මණ්ඩලය හා එක්ව රුපියල් මිලියන 250කට අධික මහා පරිමාණ ව්‍යාපෘතියක් ද දැනටමත් සැලසුම් කර තිබේ. එම ස්ථිර ව්‍යාපෘතිය ආරම්භ වන තෙක් පවතින දැඩි අපහසුතාව මඟහරවා ගැනීම සඳහා රෝහල් නඩත්තු ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය කරමින් අවහිර වූ කොටස් වෙනුවට විකල්ප නළ මාර්ගයක් යොදා තාවකාලික නඩත්තු කටයුතු සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මීට අමතරව නාවලපිටිය නගර සභාවේ නෛතික සහය ඇතිව පිරිපහදු ඒකකය කඩිනමින් අලුත්වැඩියා කර ගැනීමට ද රෝහල් පාලන අධිකාරිය අපේක්ෂා කරයි. මාධ්‍ය අනාවරණයෙන් පසුව බලධාරීන් ගත් මෙම කඩිනම් පියවර පිළිබඳව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ සහ ජනතාව සිය ප්‍රසාදය පළ කර සිටිති.














