ලෝක මැලේරියා දිනයට සමගාමීව කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදී. කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නවීන් සොයිසා මහතාගේ සෘජු මඟපෙන්වීම සහ මෙහෙයවීම යටතේ කළුතර දිස්ත්‍රික් වාහක රෝග මර්දන ඒකකය විසින් මෙම කාලෝචිත වැඩසටහන ඊයේ (29) දින පෙරවරුවේ ක්‍රියාත්මක කරන ලදී.
කළුතර දිස්ත්‍රික් වාහක රෝග මර්දන ඒකකය භාර වෛද්‍ය නිලධාරී රුවන් පරණගම මහතා ඇතුළු කැපවූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කළුතර නගරයේ සැරිසරමින් පොදු ජනතාව මැලේරියා රෝගයෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි ලෙස කරුණු පහදා දෙන ලදී. එහිදී මහජනතාව වෙත උපදෙස් ඇතුළත් පත්‍රිකා බෙදා දෙමින් මැලේරියා මර්දනයේ වැදගත්කම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට කටයුතු කෙරුණි. රටෙන් තුරන් කළ මැලේරියාව යළි හිස එසවීම වැළැක්වීම සඳහා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් අතිශය වැදගත් වේ.














