වත්මන් රජයේ පාලනය හිට්ලර්ගේ පාලනයට සමාන කරමින් අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තාරුණ්‍යයේ හඬ’ වැඩසටහන අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ රජයේ අකාර්යක්ෂම සහ සැලසුමක් නැති පාලනය හේතුවෙන් ලක්ෂ 220ක ජනතාව වින්දිතයන් බවට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම මෑතකදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් අතුරුදන් වීම බරපතළ සිදුවීමක් බවත් ජනතා බදු මුදල් මෙලෙස සොරාකෑම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියද රජය එය ලබා නොදීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුගමනය කරන රටක මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කරුණු සාකච්ඡා කිරීමට ඉඩ නොදීම ඒකාධිපති පාලනයක් කරා යන ගමනක් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















