තමන්ගේ මව් රට තුළ කිසිදු ආකාරයක පීඩාවකට හෝ හිරිහැරයකට ලක් නොවන බවට සහතික නොවන අයදුම්කරුවන්ට ඇමරිකානු එක්සත් ජනපදය වෙත ඇතුළුවීම සඳහා ලබා දෙන වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ට්‍රම්ප් පරිපාලනය නව නීති පනවා තිබේ. සරණාගතභාවය අපේක්ෂාවෙන් ඇමරිකාවට ඇතුළුවීමට උත්සාහ කරන පිරිස් පාලනය කිරීම සඳහා හඳුන්වා දී ඇති මෙම නව රීතිය මේ සතියේදී ලොව පුරා පිහිටි සියලුම ඇමරිකානු තානාපති කාර්යාල වෙත දැනුම් දී ඇත. විශේෂයෙන්ම සංචාරක, ශිෂ්‍ය සහ තාවකාලික රැකියා වීසා වැනි සංක්‍රමණික නොවන වීසා සඳහා අයදුම් කරන සියලුම පුද්ගලයින්ට මෙම නීතිය අදාළ වන අතර, මීට පෙර ජනවාරි මාසයේදී රටවල් 75 ක සංක්‍රමණික වීසා නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මින් ඉදිරියට වීසා නිලධාරීන් විසින් අයදුම්කරුවන්ගෙන් ප්‍රශ්න දෙකක් විමසනු ලබයි. එනම් අයදුම්කරු තම රටේදී කිසියම් අතවරයකට ලක්වී තිබේද යන්න සහ නැවත එරටට යාමේදී කිසියම් අනතුරක් සිදුවේ යැයි බියක් පවතීද යන්නයි. වීසා බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම්කරු මෙම ප්‍රශ්න දෙකටම “නැත” යනුවෙන් වාචිකව පිළිතුරු දීම අනිවාර්ය කර ඇති අතර, යම් හෙයකින් තමන්ට තම රටේ අනතුරක් පවතින බව ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ වීසා ඉල්ලුම්පත්‍රය වහාම ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඇමරිකානු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ වීසා ක්‍රමය අනිසි ලෙස භාවිතා කරන්නන් වැළැක්වීමට මෙම පියවර ගත් බව බලධාරීන් පවසන නමුත්, මෙමගින් සැබෑ ලෙසම අවදානමට ලක්ව සිටින පුද්ගලයින් තවදුරටත් අසරණ වන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ අනතුරු අඟවති.














