2010 වසරෙන් පසුව උපන් සියලුම දරුවන් දුම්වැටි භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීමේ විශේෂ යෝජනාවලියක් ජාතික මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර අධිකාරිය (NATA) විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් බාර දී තිබේ. විද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින් සකස් කරන ලද මෙම සංකල්ප පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හා මධ්‍යසාර ආශ්‍රිත හානි අවම කිරීම සඳහා තීරණාත්මක නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
ජාතික මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් එක්ව සකස් කළ මෙම වාර්තාව මගින් ප්‍රධාන නිර්දේශ දෙකක් ඉදිරිපත් කර තිබේ. එනම් පවතින නීති රීති යාවත්කාලීන කිරීම සහ නිශ්චිත වයස් සීමාවකට පසු උපන් පුද්ගලයින්ට දුම්වැටි නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. දැනටමත් ලොව දියුණු රටවල් කිහිපයක ක්‍රියාත්මක වන මෙම ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම හරහා අනාගත පරපුර මාරාන්තික රෝගවලින් ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණවලින් 80%ක් පමණ බෝ නොවන රෝග නිසා සිදුවන අතර, දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය ඒ සඳහා ප්‍රධානතම හේතුවක් බව වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය. මෙරට තුළ වසරකට පුද්ගලයින් 22,000ක් පමණ මෙම ඇබ්බැහිවීම් නිසා මිය යන අතර ඒ හේතුවෙන් රජයට විශාල සෞඛ්‍ය පිරිවැයක් දැරීමට ද සිදුව ඇත. මෙම යෝජනාව සාධනීය ලෙස පිළිගත් සෞඛ්‍ය අමාත්‍යවරයා, අවශ්‍ය ව්‍යවස්ථාපිත සංශෝධන සිදු කිරීම සඳහා වන සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.














