මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වත්මන් නිලධාරීන් දේශපාලන පත්වීම්ලාභීන් බැවින් රජයේ මුදල් වැරදි ගිණුම්වලට බැරවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට ගියා යැයි පවසමින් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවකට මුදල් තැන්පත් කිරීමේදී ප්‍රශ්න දහසක් අසන රටක පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් එළියට ගන්නා තෙක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ හයක් වෙනත් ගිණුමකට යන තෙක් බලධාරීන් නිහඬව සිටීම ඔහු විවේචනය කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සඳහා සෘජුව වගකිව යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේය. අතීතයේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට පමණක් චෝදනා එල්ල කළ ද දැන් එවැනි තත්ත්වයක් ජාතික ජන බලවේගය (JVP) තුළ පවතින්නේ දැයි ඔවුන් සනාථ කළ යුතු බව ඔහු පැවසීය. යම් හෙයකින් ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඔහු රටට සහ කථානායකවරයාට බොරු කියා ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














