මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කළ කාන්තාවන් සිව්දෙනෙකු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ සහ ගෝනපොල ප්‍රදේශවල පදිංචි අවුරුදු 26ත් 29ත් අතර වයස්වල පසුවන මෙම කාන්තාවන් පිරිස, රෙමුණ බැල්ලපිටියේ ආඳාදොළේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස පොලිස් පරීක්ෂාවට හසුව ඇත. රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයේදී ඔවුන් බීමත්ව සිටි බව තහවුරු වීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාවන් පිරිස කලක සිටම අදාළ ස්ථානයට පැමිණ දිය නෑමෙන් අනතුරුව මත්පැන් පානය කිරීමට හුරුවී සිට ඇති බවයි. ඔවුන් මත්පැන් පානයට තදින්ම ඇබ්බැහි වී ඇති පිරිසක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අඟුරුවාතොට පොලිසිය කටයුතු කරමින් සිටියි.














