‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ මාවිල්ආරු සොරොව්ව තාවකාලිකව පිළිසකර කිරීමෙන් අනතුරුව ගොවීන් සඳහා ජලය නිකුත් කිරීම අද (30) සිදු විය.
මෙලෙස ජලය නිකුත් කිරීම හරහා ගොවි සංවිධාන 47කට අයත් ගොවි පවුල් 14,000කට සිය වගා කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ. ඒ අනුව අක්කර 25,000කට වැඩි වී වගා ප්‍රමාණයකට අවශ්‍ය ජල පහසුකම් මේ හරහා සපයනු ලැබේ. මාවිල්ආරු ජලාශයෙන් කල්ලාරු, දෙහිවත්ත, නීලපොල, ඊචලාම්පත්තු සහ සේරුනුවර යන ගම්මාන සඳහා මෙලෙස ජලය නිකුත් කෙරේ.
මාවිල්ආරු සොරොව්වේ කිලෝමීටර් 5ක් පමණ දිගින් යුත් ආරක්ෂක බැම්මට සුළි කුණාටුවෙන් දැඩි හානි සිදු විය. එහි ස්ථාන 12කින් කිලෝමීටර් 1.5ක පමණ ප්‍රමාණයක් බිඳී ගොස් තිබුණි. දැනට ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර යල කන්නයේ වගාවන් සඳහා අවශ්‍ය ජලය රඳවා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තාවකාලික බැම්මක් ඉදිකර ඇත.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.













