අබුඩාබි නුවර සිට කටුනායක දක්වා පියාසර කළ ගුවන් යානයක් තුළදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ 31ක් වටිනා අමෙරිකානු ඩොලර් 9,900ක මුදලක් සොරාගත් චීන ජාතිකයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේ කැසිනෝ ශාලාවකදී අත්අඩංගුවට ගෙන තිබේ. රුසියානු වෛද්‍යවරයා ගුවන් යානය තුළ නිදාගෙන සිටි අවස්ථාවේදී ගමන් මලු රාක්කයේ තිබූ ඔහුගේ අත් බෑගයෙන් මෙම මුදල් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපොළෙන් බැසීමෙන් පසු මුදල් අතුරුදන් වී ඇති බව දැනගත් වෛද්‍යවරයා කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලිසිය ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර තිබේ. එහිදී සැකකාර චීන ජාතිකයා කැමරා මගහරිමින් ඉතා ඉක්මනින් ගුවන් තොටුපොළෙන් පිටව කුලී රථයකින් පළා යන අයුරු නිරීක්ෂණය වී ඇත.
අදාළ කුලී රථ සේවාව ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු කොළඹ කොටුව ප්‍රදේශයේ කැසිනෝ ශාලාවකට ගොස් ඇති බව තහවුරු කරගත් පොලිස් නිලධාරීන්, එම ස්ථානයේ ආරක්ෂිත කැමරා ද පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් චීන ජාතිකයා සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














