කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයේ දෙවන මහලේ අද (30) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ. වාර්තා වන පරිදි මෙම ගින්න හටගෙන ඇත්තේ එම කාර්යාලයේ අතිශය වැදගත් පරිගණක දත්ත පද්ධතිය පවත්වාගෙන යනු ලබන කොටසේය.
රාත්‍රී කාලයේ ගින්න හටගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් සහ අදාළ බලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණ දැඩි පරිශ්‍රමයක් යොදා මේ වන විට ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇත. ගින්න හේතුවෙන් දත්ත පද්ධතියට හෝ ලිපිගොනු ගබඩා කර ඇති ස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති වුවද, ප්‍රාදේශීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතුවලට ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සැක කෙරේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද නැතහොත් වෙනත් බාහිර හේතුවක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිතය. ගින්නෙන් සිදුවූ සමස්ත දේපළ හානිය පිළිබඳ තක්සේරු කිරීම් හෙට දින සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.














