මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ප්‍රවීණයන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් මඟින් නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කළ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය අගයමින්, අයවැය යෝජනා මඟින් මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමට ද මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය නිරන්තරයෙන් මැදිහත් වන අතර, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා විදේශ පුහුණු අවස්ථා ලබා දීමට ද කටයුතු යොදා ඇත.
මෙම වැඩමුළුව සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, සහභාගි වූවන් වෙත සහතික ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.












