නෝර්වේ හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවාවන් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින්, ස්ටොක්හෝම්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට කොන්සියුලර් ජංගම සේවාවක් සාර්ථකව පවත්වා තිබේ.
මෙම ජංගම සේවාව හරහා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් පුද්ගලයන් සියයකට අධික පිරිසකට සේවාවන් සපයා දී ඇත. ඒ යටතේ ද්විත්ව පුරවැසි අයැදුම්පත් භාර ගැනීම, විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම, උපත් ලියාපදිංචි කිරීම් සහ විවිධ ලේඛන සහතික කිරීම් ආදී සේවාවන් රැසක් ඉටු කර දී තිබේ.
නෝර්ඩික් සහ බෝල්ටික් කලාපය තුළ වැඩිම ශ්‍රී ලාංකික ප්‍රජාවක් වාසය කරන්නේ නෝර්වේ හි වන අතර, එම පදිංචිකරුවන්ට තම සේවාවන් ලබාගැනීමට ඇති දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම සේවාව ඉවහල් විය. නෝර්වේ ශ්‍රී ලංකා සංගමයේ ද සහයෝගය ඇතිව මෙම ජංගම සේවාව ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
















