අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ 50 හැවිරිදි රංග නිශාන්ත මහතාගේ සිරුර ඊයේ දහවල් කුලියාපිටිය, පහළවීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ තිබී සොයා ගන්නා ලදී. ඔහුගේ සිරුරේ කැපුම් තුවාල දක්නට ලැබුණු අතර මෙය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය මූලිකව ප්‍රකාශ කර තිබේ. අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සිදුවූ ආකාරය පිළිබඳව නිශ්චිතව තහවුරු වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේය.
මෙම නිලධාරියා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව්දෙනාගෙන් අයෙකි. මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවට මුලින් වාර්තා වුවද, ඔහු විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බව පසුව තහවුරු විය. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ පරිදි, මියගිය නිලධාරියා සිය ලැප්ටොප් පරිගණක ඇතුළු දත්ත උපකරණ ද විමර්ශන අංශ වෙත භාර දී තිබුණි.














