දශක හතකට අධික කාලයක් පැවති පවුල්වාදී සහ දූෂිත දේශපාලන ක්‍රමය පරාජය කර, මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තැබූ ජනතාවාදී පාලනයක් යටතේ මෙවර මැයි දිනය සැමරීම සුවිශේෂී කාරණයක් බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ප්‍රමාණාත්මක වැටුප් වැඩිකිරීමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ. පවතින කම්කරු නීති සංශෝධනය කිරීම සහ නව නීති හඳුන්වා දීම හරහා ශ්‍රමයේ අභිමානය සුරක්ෂිත කිරීමටත්, ඵලදායී හා සාමකාමී කම්කරු සබඳතා ගොඩනැඟීමටත් පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට අභියෝග මධ්‍යයේ නැවත ස්ථාවරත්වය කරා ගෙන යෑම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ඕනෑම අභියෝගයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමත්, එහි ප්‍රතිලාභ සියලු ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කිරීමත් රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
‘ජනරජයට ජනබලයක් – මාලිමාවේ මැයි රැලිය’ තේමාව යටතේ මෙවර 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරේ. රටෙහි ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් ජනතාව අපේක්ෂා කළ විසල් පරිවර්තනය සිදු කිරීම සඳහා අඛණ්ඩව හා අධිෂ්ඨානශීලීව කැපවන ලෙස අමාත්‍යවරයා සියලු වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටියි.














