මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳ දැමීම, මත්ද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අවම කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම මගින් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි 2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ 2026 අප්‍රේල් 30 වන දින දක්වා වූ මාස හයක කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සහ සැකකරුවන් පිළිබඳ වාර්තාවක් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇත.
මෙම මෙහෙයුම් මාලාව තුළදී දිවයින පුරා වැටලීම් 164,133ක් සිදු කර ඇති අතර, ඒ හරහා හෙරොයින් කිලෝ 1,932ක් සහ ග්‍රෑම් 484ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,985ක් සහ ග්‍රෑම් 529ක්, ගංජා කිලෝ 5,169ක් සහ ග්‍රෑම් 309ක් මෙන්ම ගංජා පැල 8,580,607ක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ. තවද, කුෂ්, හෂීෂ්, මත්පෙති, මදනමෝදක සහ මාලා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 163,197ක් වන අතර, ඉන් පුද්ගලයින් 289 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. රැඳවුම් නියෝග මත සැකකරුවන් 2,719ක් ප්‍රශ්න කරනු ලබන අතර, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ද පියවර ගෙන ඇත.














