ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන මලක්කා සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් නව භූ-දේශපාලනික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් වාර්තා පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත පවතින අස්ථාවරත්වය හමුවේ ලෝක බලශක්ති සැපයුමේ වඩාත්ම අවදානම් ස්ථානය ලෙස දැනට මලක්කා සමුද්‍ර සන්ධිය හඳුනාගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 13 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව අතර ‘ප්‍රධාන ආරක්ෂක සහයෝගිතා හවුල්කාරිත්වය’ (MDCP) නමැති ගිවිසුම අත්සන් කර ඇත. මෙමගින් ඇමෙරිකානු හමුදාවන්ට ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු කලාපයේ මෙහෙයුම් දායකත්වය පුළුල් කිරීමට අවස්ථාව සැලසී තිබේ.
මෙම ආරක්ෂක ගිවිසුම මගින් චීනය දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ‘මලක්කා අර්බුදය’ තවදුරටත් උග්‍ර වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන තෙල් නැව් ගමන් කරනුයේ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහාය. යම් හෙයකින් ඇමෙරිකානු බලපෑම මත මෙම මාර්ගය අවහිර වුවහොත් එය චීනයේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇත.මෙම ගිවිසුම හරහා කලාපීය ස්ථාවරත්වය අපේක්ෂා කරන බව දෙරට ප්‍රකාශ කළද, මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේ ස්ථාවර හමුදාමය රැඳී සිටීමක් සඳහා මෙමගින් ඉඩ සැලසෙන බව ‘ඩිෆෙන්ස් සිකියුරිටි ඒෂියා’ වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි කාලයේදී ගිනිකොනදිග ආසියානු කලාපයේ බලතුලනය වෙනස් කරමින් මෙම මුහුදු මාවත ලෝක බලවතුන්ගේ දැඩි බලපෑමට නතු වනු ඇතැයි අනුමාන කෙරේ.














