ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන ලද පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 7 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.
ඔහු මෙම ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමිනි. 23 හැවිරිදි රුමේෂ් තරංග, දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර රැඳී සිටින ලාබාලතම ක්‍රීඩකයා වීම මෙහි ඇති විශේෂත්වයයි. මෑත කාලීනව ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කිහිපයකදීම ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක මට්ටමේ පළමු දස දෙනා අතරට මෙවැනි ලාබාල වයසකදී පැමිණි ප්‍රථම ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග වාර්තා අතරට එක්වේ.














