ඉරානයේ කටයුතු අවසන් කිරීමෙන් පසු ඇමරිකානු නාවික හමුදාව කියුබාව වෙත ගොස් එම රට “පාහේ ක්ෂණිකව” අත්පත් කරගනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කර තිබේ. ෆෝරම් ක්ලබ් ඔෆ් ද පාම් බීචස් (Forum Club of the Palm Beaches) හි පැවති උත්සවයකදී ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ, ඉරානයේ කටයුතු අවසන් කර ආපසු එන අතරමඟදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ‘USS ආබ්‍රහම් ලින්කන්’ කියුබානු වෙරළට ආසන්නයෙන් නවතා, ඔවුන්ට යටත් වන ලෙස දැනුම් දෙනු ඇති බවයි. මෙම ප්‍රකාශයත් සමඟම, තවත් නව යුධ ගැටුමකට ඇමරිකාව පැටලෙනු ඇතිදැයි යන බියක් ද ජාත්‍යන්තර මට්ටමින් මතු වී තිබේ.
මේ වන විට කියුබාවට එරෙහිව ඇමරිකාව විසින් නව සම්බාධක මාලාවක් පනවා ඇති අතර, හවානා පාලනය එය හඳුන්වා ඇත්තේ “සාමූහික දඬුවම් දීමක්” ලෙසයි. වසරේ මුල් භාගයේදී වෙනිසියුලාවේ නිකලස් මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකාව සිදුකළ මැදිහත්වීමෙන් පසු, කියුබාව ද මදුරෝගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සහය ලබා දුන් බවට ට්‍රම්ප් චෝදනා කරයි.
ඇමරිකානු තෙල් සම්බාධක හේතුවෙන් කියුබාව මේ වන විට දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින අතර, එමගින් එරට සෞඛ්‍ය සේවාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් අඩපණ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ කියුබානු ආර්ථිකයේ ප්‍රධාන අංශවලට බලපාන පරිදි නව සම්බාධක තවදුරටත් පවත්වාගෙන යන බවත්, කියුබාව සමඟ කටයුතු කරන විදේශීය බැංකුවලට ද දඬුවම් පැනවීමට සූදානම් බවත්ය.














