වෙල්ලමුල්ල – වෛක්කාල් ප්‍රදේශයේදී අවසන් යුද සටනේදී මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා මෙවරත් සමරු උත්සවයක් සංවිධානය කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. මැයි 18 වැනිදා පැවැත්වීමට නියමිත මෙම උත්සවය කිසිසේත්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී සැමරුමක් නොවන බවත්, එය හුදෙක් යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් සිහිපත් කිරීම උදෙසා උතුරේ දේශපාලන පක්ෂ සහ ජනතාව එක්ව සංවිධානය කරන සාමකාමී උත්සවයක් බවත් ඒ මහතා අවධාරණය කරයි.
මීට පෙර වසරවලදී මෙම උත්සවය පැවැත්වීමට උත්සාහ කළ අවස්ථාවලදී එය එල්.ටී.ටී.ඊ. හිතවාදී ක්‍රියාකාරකමක් ලෙස දකුණේ ජනතාව සැක පහළ කිරීම හේතුවෙන් රජය ඊට බාධා එල්ල කළ ද, මෙවර වත්මන් ආණ්ඩුව ඊට බාධාවක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම ඕනෑම ජාතියකට පොදු මානුෂීය අයිතිවාසිකමක් බැවින්, මෙම උත්සවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු පිළිබඳව උතුරේ දේශපාලන පක්ෂ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පවසයි.














