‘ක්ලීන් ශ්‍රී ලංකා’ සම්බන්ධීකාරකවරුන් ලෙස දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් එම සංගමය විසින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක වෙත ලිඛිතව දැනුම් දී ඇත.
දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු කාර්යාලය තුළ රඳවාගෙන ස්වාධීන සහ අවංක මහජන සේවයක් ලබා දිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම්වරු පෙන්වා දෙති. මීට පෙර ආණ්ඩු කාලවලදී ද මෙවැනි උත්සාහයන් ගත් අවස්ථාවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් ඒවා අඩපණ කළ බවත් වත්මන් තීරණය ඉවත් කර නොගතහොත් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුහු අනතුරු අඟවති. මෙම පත් කිරීම් හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය පිළිබඳ පවතින සමාජ පිළිගැනීම බිඳ වැටෙන බව සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා ප්‍රකාශ කර තිබේ.
නම් කර ඇති මෙම නියෝජිතයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පුටු, මේස ඇතුළු භෞතික පහසුකම් ලබා දීමට නොහැකි බව සංගමය අවධාරණය කරයි. කෙසේ වෙතත් මෙම සම්බන්ධීකාරකවරුන් වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩ පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුන්ගේ රාජකාරී සඳහා කළමනාකරණ සේවා හෝ සංවර්ධන නිලධාරියෙකු අනුයුක්ත කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා පසුගිය මාර්තු මාසයේදී දැනුම් දී තිබුණි.
ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි මේ වන විට දිවයින පුරා පළාත් සම්බන්ධීකාරකවරු 09ක්, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරු 25ක් සහ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරු 341ක් පත් කර ඇති බව වාර්තා වේ.














