සුප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වූ MAS*H හි හෙද නිලධාරිනියක ලෙස රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පිනී ග්වෙන් ෆැරල් ඇඩෙයාර් සිය දිවි සැරිය නිම කර තිබේ. මියයන විට ඇය 94 වන වියේ පසු වූ අතර ඇය ස්වභාවික හේතූන් මත අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත්‍රයා නිවේදනය කළේය.
ටෙක්සාස් හි ඔස්ටින් නුවර උපත ලැබූ ඇය 1972 වසරේ MAS*H කතා මාලාවේ දෙවන කථාංගයෙන් සිය රංගන දිවිය ආරම්භ කළාය. වසර 11ක් පුරා විකාශය වූ මෙම ජනප්‍රිය කතා මාලාව තුළ ඇය විවිධ හෙද නිලධාරිනියන් ලෙස මෙන්ම නිර්වින්දන වෛද්‍යවරියක ලෙසද චරිත නිරූපණය කළාය.
ඇය සිය රංගන දිවිය තුළ Starsky & Hutch වැනි රූපවාහිනී වැඩසටහන් මෙන්ම Black Gunn, Soylent Green, Coffy, Earthquake සහ Towering Inferno වැනි චිත්‍රපට ගණනාවකටම දායක විය. රංගන ක්‍ෂේත්‍රයට අමතරව ඇය 1970 දශකයේදී ලොස් ඇන්ජලීස් නගරයේ බොක්සිං ක්‍රීඩකයින් කළමනාකරණය කළ අතර 1979 වසරේදී ලොව පළමු බලපත්‍රලාභී කාන්තා බොක්සිං විනිසුරුවරිය බවට පත්විය. ඇය සිය මව වන ලොවී යන්සි විසින් 1947 දී ආරම්භ කරන ලද සුප්‍රසිද්ධ Fatburger ආපනශාලා ජාලයද පවත්වාගෙන ගියේය.
ඇය සිය පවුලට ආදරණීය මවක් මෙන්ම ආදර්ශවත් ආච්චි කෙනෙකු බවත්, ඇයගේ වියෝව පවුලේ සැමට දරාගත නොහැකි පාඩුවක් බවත් ඇගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ. ඇය ජීවිතය පුරාම තමන් අවට සිටි අයට ආදරය, සහයෝගය සහ ප්‍රඥාව බෙදා දුන් කෙනෙකු ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර විය.














