ලන්ඩන් නුවරදී යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු පිහියෙන් ඇන තුවාල කිරීමේ සිද්ධියත් සමඟ, පලස්තීන හිතවාදී විරෝධතා මගින් යුදෙව් ප්‍රජාව වෙත එල්ල වන බලපෑම සැලකිල්ලට ගනිමින්, ඇතැම් විරෝධතා තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වන බව අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසයි. ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමී විරෝධතා තමා සැමවිටම අගය කරන බවත්, නමුත් විරෝධතා අතරතුර ප්‍රකාශ කෙරෙන ඇතැම් වෛරී පාඨ නීති විරෝධී බවත් ඔහු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේය.
2023 ඔක්තෝම්බර් මාසයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ආරම්භ වූ ගාසා යුද්ධයත් සමඟ ලන්ඩන් නුවර පලස්තීන හිතවාදී විරෝධතා නිරන්තරයෙන් පැවැත්වේ. විරෝධතාකරුවන් තමන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින බව පවසමින් මානව හිමිකම් සහ දේශපාලන ගැටලු ඉස්මතු කිරීමට උත්සාහ කළද, මෙම විරෝධතා හේතුවෙන් යුදෙව් ප්‍රජාව තුළ දැඩි අනාරක්ෂිත බවක් සහ යුදෙව් විරෝධී මතවාදයන් වර්ධනය වී ඇති බවට විවේචන එල්ල වී තිබේ.
මෙම විරෝධතා නැවත නැවතත් පැවැත්වීම පිළිබඳව යුදෙව් ප්‍රජාව තුළ ඇති දැඩි කනස්සල්ල තමා වටහාගෙන ඇති බවත්, විරෝධතා සහ ඒවායේ සමස්ත බලපෑම සම්බන්ධයෙන් රජය මීට වඩා දැඩි පියවර ගැනීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, යුදෙව් ප්‍රජාව සහ ආයතන වෙත එල්ල විය හැකි තර්ජන පිළිබඳව බ්‍රිතාන්‍ය පොලිසිය දැඩි අවධානයෙන් සිටින අතර, විදේශ රාජ්‍යයන්ගේ සම්බන්ධයක් සහිතව හිංසනයන් ඇවිළීමේ අවදානමක් පවතින බවත් බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම “දරුණු” (Severe) දක්වා ඉහළ නංවා ඇති බවත් බලධාරීන් සඳහන් කරයි.














